Friday, May 25, 2012

මිතුරු හිනා මල් විතරක් නුඹට බෑලු දරා ගන්න...!

සඳ තරු නැති ආකාහේ....රෑ කළුවර රජ කරාවි...
වළාකුලක් වැස්ස ගෙනත්....ඒ අහසම එකි බිඳීවි....
හීන ගෙනෙන හිත් අහසම මගෙ මතකෙට කවි ගෙනේවි...
ඒ මතකය හිනා වෙලා....මගේ අතින් අකුරු වේවි...

කළුවර රෑ අකාහේ...තරු කැටයක් එළිය වේවි...
හිතුවෙත් නැති...මල් හීනෙක නුඹ ඇවිදින් හිනා වේවි...
හිනාවෙලා ආකහේ...තරුවට මල් ගී කියාවි...
ඒ වාගෙම මිතුරු මහිත....නුඹෙ ගීයට පද තියාවි...

අවිහිංසක සිත හින්දා....නෑ නොවැ මට දුරක යන්න...
මිතුරු හිනා මල් විතරක් නුඹට බෑලු දරා ගන්න....
තරුවෙ වදන් දුක ගෙනවිත්...අමාවකලු රෑ අහසට....
එහෙම වුනත් තරු හිතවති හෙට නො'එයිද නුඹ බලන්න...!


නුඹ නාවත් හැමදාකම...
තරුව වෙලා මම ඉඳිවි.....
නුඹ ආවොත් හිනා වෙන්න...!

Monday, May 14, 2012

මා ලද්දෙමි නුඹ..ඒ මා කල පින්කම...!



ජීවිතේ හමුවෙන හැම අමතක නොවෙන දෑසක්ම ජීවිතේට ගේන්නේ වටිනාකමක් කියලයි මම නම් අදහන්නේ
දුක උනත්..සිනහව උනත්...
ඒ මතකය ජීවිතේට දෙන්නේ සදාතනික පාඩමක්...
ඉඳින් මේ පුංචි පද වැල් පෙල මට "මගේ සරසවි පින් බිමේදී" හමු වූ ස්නේහ මිතුරියන් වෙනුවෙන් හිත පිරුණු සෙනෙහසින්...කවිකාරිට...!


හිනැහෙන නෙතු ලඟ මුතුවැල් හසරැල්
දුක දැනුනා නෙතු පිරුණා කඳුලැල්
එනමුදු නුඹ ලඟ උන්නා හැමකල්
මිතුරිය සෙනෙහේ..නුඹ නම් මනකල්

ජීවන මං පෙත පිපුණද කුසුමන්
පිනිබිඳු මෙන් අග ඒ මැයි කඳුලැල්
ගඟනත ලා හිරු කිරණක් වී දුල්වන්
නුඹ පෑයූ සඳ මල්පෙති මනරම්

පින්බරකම් පෙර ගෙන එයි සිනහව
මා ලද්දෙමි නුඹ..ඒ මා කල පින්කම
මතුභවයේදීත් නුඹවන් හිතවත්කම
දෙන්නට...ලබනට...වේවා මා පින්සර...

Saturday, May 12, 2012

තාමත් හමුනොවුනු ඔබට...!


ආදරේ...ජීවිතේ ගැන මිතුරු කැළ එක්ක ලොකූ කතාවකට පස්සේ මම තේරුම් ගත්ත දේ මම ගැන...
මහා ලොකු පණ්ඩිතකම්..මහා ලොකු පණ්ඩිතකතා මගේ... නුඹ තේරුම් ගත් දාට...නුඹ ඒවාට පෙම් කරාවි....
නුඹ වෙනුවෙන් එහෙව් පණ්ඩිතකම් මම නවතා ගත් දාක....

අපි අපේ වේවි...!!


Sunday, May 6, 2012

වෙනස


අදත් එදා වගේමයි...
පොඩි දේටත් හිත බර කරන්...ඕන් නැති දේටත් ගොඩාක් හිනා වෙලා...

වෙනස...


හිතට බරක් දැනුණු වෙලාවට...ඉස්සර කඩදාසියක් පුරා කුරුටු ගෑ හිතට...
අද මතක් වෙන්නේ ඔබව...
කවිකාරි....
ලියන ලියන අකුරකින්...ගොතන ගොතන පබැඳුමකින්...නිවෙනවා හිත...හිනැහෙනවා මම
සත්තයි මේ මගේ හිත...නුඹ තරම් දන්නේ වෙන කවුද...!


           


ඇත්තටම නම් දුක් විඳලා නැති වුනත්...හිතලා හිතලාම දුක් වෙන්නත් හිනා වෙන්නත් පුළුවන් හිතට පිහිටට ඉන්න කවිකාරිට සෙනෙහසින්...!

Friday, May 4, 2012

වෙසක් දවසට පමණක් හඩඟා කියන....සදා පැතුම....!!


මල් සුවඳ...සිල් සුවඳ බෝමළුව පුරා පැතිරිලා...
කවදාවත් නැති තරම් පින්කාර හැඟීමක් බෝ පත් සිලි සිලියේ පවා...
මුලු ලොවම දුකින් එතෙර කරන්නට මෙලොවට පහල වූ.....අසමසම බුදු නෙත් දිහා...
මෙලෙස බැතින් දොහොත් මුදුන් දී වඳිමි...
පතනෙමි ඉත සිතින්...

"සියල් සිත පහන් වී...
ලතැවුල් නොම වෙන...
පින්බර සිතිවිලි පමණක් සිත්මල්හි පූදින...ජීවිත සැමට ලැබේවා...
නිදුක් වේවා...නිරෝගී වේවා...සුවපත් වේවා.....!!"


වෙසක් දවසට පමණක් හඩඟා කියන....සදා පැතුම....!!
   

               




                  

Wednesday, May 2, 2012

මායාව


"කියවලා ඉවර කරන්න බැරි කතාවක් වගේ...."
අද කෙනෙක්ට කිව්වා මම....තව කෙනෙක් ගැන..හිතේ හැමවෙලේම හොල්මන් කරන්න පටන් අරන් ඉන්න කෙනෙක් ගැන.....

ජීවිතේ කියන්නේ මොන තරම් අහඹුවක්ද...?
 ඔබේ හමුවීම තරම් ඒ ගැන කියාදෙන තව දෙයක් තියෙන්න පුළුවන්ද...?

ලඟම තිබිලත් මෙතෙක් කල් නුදුටු.....
අද ලඟටම ඇවිත්....
ඒ වුනත් කියවලා ඉවර කරගන්න බැරි කතාවක් වෙලා

ඒ වුනාට ජීවිතේ ලියාගෙන යන්න ඔය කතාව...දිරි සවි ලැබේවි....හැමදාම
කියවන්න බැරි වුනත්....ඒ සුන්දර කතාව දැකලා දවසක මිතුරු හිතෙන් සැනසෙන්න ඇහැකි වේවි....!!

තවත් අටුවා ටීකා මොකටද......සැබවින්ම මායවක්මයි ඔබත්....!!