Thursday, September 12, 2013

වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී...!


කාලය වේගයෙන් ඉගිල ගියේය.වසරක් ගත විය.එනමුදු කල්පයක් සේ දැනිණි.වින්දේ දුකම පමණක් බවත්..හිත නම් හැදුනේ නැති වගත් අවසන පසක් කර ගතිමි.සත්තමය ඔබෙන් සිත මුදා ගන්නට නොහැකි විය.වසා ගත් නෙතු සේම අවදි නෙතුද දැක්කේද සෙව්වේද ඔබම විය.
ඉඳින් තීරණයක් ගතිමි.අවදානමක් ගන්නට දුබලව හුන් ගෑණු සිත හයිය ගත්තාය.ඔබ සොයා ගියෙමි.තනිව ඉන්නා ඔබ දකින දකින වාරයක් පාසා පිලිස්සෙන සිත විවර කර සියල්ල කියා දමන්නට ඔබ සොයා ගියෙමි.
ආදරණීය සරසවියේ බංකුවක් මත ඔබ එනතුරු බලා හුන්නෙමි.
යකඩ කම්හලක් සේ සිත ගැහුනේය.ලෝදිය හැලියක් සේ පිච්චෙම්න් හුන්නෙමි.ඔබ හෙමි හෙමින් පියමැන ආවේය.ඒ නෙතු කුහුලින් බරවී තිබිණි.
"ඉතින් නංගි...." 
මා කතා කරන්නට පටන් ගත යුතු විය.වචන නො'ඒ.හැඬුම්බර මුවට සිනාවක් නගා ගතිමි.
"ම්ම්ම් ඉන්නවා ඉතින්.මේ කියන්න දෙයක් තියෙනවා අයියට"
"මොකද්ද...?"
"අම්මලා ප්‍රපෝසල් හොයන්න වගේ යනවා.23ත් ලැබුවා නේ කියලා..."
"හ්ම්ම්ම්"
"මේ මට..මට අහන්න ඔනේ උනේ අයියගෙන් දැන් ඔයා මොනවද කරන්න ඉන්නේ කියලා.ඔයා හිතන්නේ මොනවද කියලා"
ඔහු නෙතු විසල් කොට අසා උන්නේය.
මම යාන්තමින් බැලුවෙමි
මද නිහඩතාවක් ගෙවිනි.
"ඔයා දන්නවනේ නංගි ඇයි මම මොකවත් නොකලේ කියලා.ඔයාගෙම හොඳටයි.ඔයාගෙ අම්ම තාත්තා එපා කියනකොට ඔයාට බල කරන්න මට බැරි නිසා"
ඔහු පැහැදිලි හඬින් කියා දැම්මේය.මට ඇඬෙන තරම් විනි.
"මම දන්නවා ඒක.එත් එත් දැන් එයාලව කැමති කර ගන්න පුලුවන් වෙයි මට.මම වෙන දෙයක් හිතන් නෑ කියලා එයාල දන්නවා"
ඔහු මා දෙසම බලා ඉඳි.මම බිම බලා ගතිමි.
"මෙහෙම දවසක් එයි කියලා මම හීනෙන් වත් හිතුවෙ නෑ"
මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.
"ඔයා එයි කියලා...මගේ හිතේ හැමදාම තිබුණා.ඒත් දරාගෙන හිටියා මම.ඔයා නිසා" ඔහු මිමිණුවේය.
නෙත් පුරා කඳුළු ඉහිරිණි.දුක සතුට එකවර දැනිණි.
ඉඳින් ඔහුගේ වීමි.ලස්සන උනෙමි.වැඩියෙන් සිනා වෙන්නට වීමි.ඔහු ඇස් සේ මා රකිමින් ඉඳී.සරසවි බිම මල් ඉහිරිනි.
ඉඳින් පුරා දෙවසරක නිමා නොවූ පෙම් කව අකුරු කර ගතිමි.දෙසිතක් එක සිතක් වී සුභ සිහින පුරමින් හිඳී.
සත්තයි...මා දුටු ඒ හීන මා අද්දර දිළිහෙන නෙත් වලින් රටා මවන්නේය.ඔබට මහා හුඟාක් ආදරය කරමි.කියන්නට වදන් නැත.විටෙම මවක සේ හැඟේ.විටෙ පොඩි එකෙකු සේ වෙමි.වටහා ගමි.බොරුවට අමනාප වෙමි.
අටුවාටීක ඕනා නැත.මුළු ජීවිතයෙන්ම ඔබේ ආදරය විඳිමින් සිටිමි.

සරසවි බිම මල් වැහි වැටුනා...
නිල් නෙතු තෙමුණා..
ඔය නෙතු අතර හිරවී...
ඔය අතැඟිලේ එල්ලී..
දුර හීන අහසේ පාවී යන්නම්ද මා...
බයක් නෑ මට...
මටත් වඩා..
මල් පෙත්තක් වගේ මාව පරිස්සම් කරන්න ඔබ ඉන්නවනේ දැන් මට







-කවිකාරි-

Saturday, August 10, 2013

සදා ඔබම දකින්නම්...!

අවසන දෙනෙත් විදහා...මෙතෙක් සඟවාලූ සියල්ල වදන් කර ගතිමි..
ඉඳින්...
ඔබ නෙතු දිලිහුනාවේ...ඒ ඇසිල්ලේ මා නිවෙන්නම්...
ඔබ සිත උදම් ඇනුවාවේ...ඒ ඉසව්වේ මා රැඳෙන්නම්...
ඔබේ සිත මගේ සිත උනාවේ...සිතින් සියවර කවි පද බඳින්නම්...
මගේම වූ මගේ අවිහිංසක සිහිනයේ සදා ඔබම දකින්නම්...!

කවිකාරි 

Thursday, July 25, 2013

සිහින දකිමි..!


අදහමි..සිහින දකිමි
ඔබ මා යැයි සිතාගෙන..
මා ගන්නා හුස්ම පොද පවා ඔබ යැයි සිතාගෙන..
ගෙවන දිවියක්...

වදනින් කියන්නට බැරි වනු ඇත...
වදන් ගලපා ගත නොහේ..
එනමුදු දෙනෙතට එබී බලනු මැන..
ඔබම මිස වෙන යමක් ඔබ නොදකිනු ඇත..

ඔබටම පතමි..
ඔබේම ජය..
ඔබේම ප්‍රීතිය..
කඳුලු මම ගනිමි...
ඔබේ සිනහවෙන් ජීවිතය දකිමි...

සුහදාණනේ...
මේ දෑඟිලි තදින් අල්ලා ගන්න...
කෙදිනකුදු අත නොහරින සේ සිතා...
මඟ හසර කටු අකුළු තිබුණත්..
හිනැහෙමින් පිය නඟමු කියා...

මම එමි..
ඔබද එනු ඇතැයි සිහින දකිමි..
වසන්ත උදා වනු ඇත..!



                  -කවිකාරි-




Saturday, June 29, 2013

එකම තනුවයි වැයෙනා...!


නෙක බසින් පබැඳී..
නෙක හඬින් ගැයෙනා..
එනමුදු...මුළු විශ්වයම..
එකම තනුවයි වැයෙනා...
හදවතේ මියුරුසරින්..
ඒ නම්..
ආදරේ...!

කවිකාරි

Saturday, May 4, 2013

කෙලවර ඉවසුමේ....!


දුරින් හිඳ හෝ මා දකින්නට ඔබ වරම් ලද හන්දා..
දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග මාද දන්නා හන්දා..
නෙතින් ගිලිහෙනු මං සොයන කඳුළැල් මදක් නැවතී උන්නා...
එනමුදු
දුරින් හින්ද වුව මා දකින්නට වරම් ලැබුණැයි සැනසුනු නුඹ...
දුරින් හිඳ වුව ඔබ නෙතු මා සොයන වග දැන මම...
යන්තමින් හිනැහී...නෙතු බැල්මෙන් දුක සැප අසා ගෙන...
යන ගමන නිමක් නැති බැව් දැන...
සිත අසයි කෙලවර ඉවසුමේ..ඔබ මා නොදකින...මාද ඔබ නොදකින හෙටක් ගැන සිහිකරගෙන....!


Wednesday, April 17, 2013

කඳුළු වලට කළින්..!


කඳුළු වලට කළින් වචන වලට එන්න පුළුවන් උනා නම්..
සත්තමයි...
මට කියා ගන්න තිබුනා....
මතකෙට එන හැමවෙලේම ඇස් වල කඳුළු එන්නෙ ඇයි කියලා...








Sunday, March 17, 2013

පන්හිඳ මා අත උනා නම්...!


නවකතාවක් වගේ...
අකුරු කරන්නට...
පන්හිඳ මා අත උනා නම්...
සත්තමයි...
ලියනවා මම මහ පුදුම ලස්සන කතාවක් ජීවිතේ..

ඔච්චර හිනා වෙන්න එපා...ඔබ කියාවි...
කඳුළ මොකක්ද ඔබ අසාවි...
නිමා වෙනකම්ම එක හුස්මට කියොගෙන යාවි..
ඒ කතාව....

පන්හිඳ මා අත උනා නම්..සත්තමයි මම ඒ කතාව ලියාවි...!

Wednesday, February 27, 2013

නුඹ විතරක්'මැයි...!






සඳ'මැයි...රෑ අහස ලඟ තනියට උන්නා...
කඳුළු'මැයි නෙතු ලඟ තනියට උන්නා...
සිනා'මැයි...ඒවි යැයි තනියට මුව මඟ බලන් උන්නා...
නුඹ ඒවියැයි හිත බලන් උන්නා...
එනමුදු කවිය නුඹ විතරක්'මැයි...
තනියට...
පොත පුරා...
හිත පුරා...ලියවෙමින් හිඳිනා...!

Monday, February 18, 2013

නිමක් නැති...!

කවදාවත්ම සමුගැනීමක් නොමදී...
නිමාවක් නැතිව නවතින..
ඔබේ මාහැඟි කෙටි පණිවිඩය මට....
නිහඬව මුමුණන...

"නිමා වුව නිමා නොව්...ඔබේත් මගේත්..
සමුගැනීමක් නැති කතාව"

 



Thursday, February 14, 2013

හිනාවෙන්න කියාදෙන්න (දෙවන කොටස)

ඔහු හිනැහුනා.
"අතාරින්න...අතාරින්න..." ඒත් මාව තවත් ඒ අත් වලට හිරවුණා විතරයි.
ඔහු මගේ ඇස් වලට එබුණා.




දඟලලා වැඩක් නැති තැන මම නතර වුණා.
"ඔයා මගෙ හොඳම යාලුවා...ඒ වගේම මගේ ආදරේ...ඔයා ඒක දන්නවා..ඒත් දන්නෑ වගේ ඉන්නවා..මඟ අරිනවා..රඟපානව..." ඔහු කියාගෙන කියාගෙන ගියා.
"මං බලාන් හිටියා..අවුරුදු ගාණක්..තවත් බෑ....I know I know you also love me..!"
"අහස් අහස් මාව අත අරින්න...මොනවද මෝඩයෝ මේ කරන්නේ..."
මං දැඟලුවා.
"කියන්න කියන්න..." ඔහු මාව අල්ලලා හෙලෙව්වා...
"ගොඩ කාලෙකට පස්සෙ අද මගෙ ඉස්සරහට ආවේ...අද මට කියලාම යන්න.."
ඔහු මගේ මූණ ලඟට නැමුණා...
"මාව ජීවත් කරනවද...නැතිනම් මර මරා තියා ගන්නවද කියලා..."
ඔහුගේ හුස්මක් ඇවිත් මූණට වැදුනා...ඒ එක්කම ඔහු මාව අත ඇරියා.අත ඇරලා බිම හිඳ ගත්තා.
මට කරන්න දෙයක් නැතිව මම එහෙමම බලා උන්නා..
"ඇයි මට මෙහෙම කරන්නේ.."මට ඇහුනේ කෙඳිරිලි හඬක්.
මට තවත් දරා ගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.මට ඉකිගැහුනා.කඳුළු ඇස් අස්සෙන් හෝ ගාලා එලියට පැන්නා.
මං අත දෙකෙන් මූණ වහගෙන අඬන්න පටන් ගත්තා.
"හිරූ...හිරුදිනී....ඇයි මේ.."
ඔහු මාව අල්ලලා තුරුළු කර ගත්තා.
මං ඒ උරහිසට හේත්තු වෙලා කොච්චර වෙලා අඬන්න ඇද්ද...මට කල්පනාවක් තිබ්බෙ නෑ..
අඬලා අඬලා මහන්සියට මං නැවතෙද්දී ඔහු මාව බිම ඉන්දවෙව්වා.
එයාගේ ලේන්සුව අරන් මගෙ මූණ පිහ දැම්මා.
මං වෙව්ල් වෙව්ල එහෙමම හිටියා.ඔහුත් මා ලඟට වෙලා එහෙමම ඉඳගෙන උන්නා.
නිහඬතාව බින්ඳෙත් ඔහුමයි.
"ඔයා දන්නවද දැන් ඔයා මොන වගේද කියලා??
හරියට රතු පාට ඉදුණු ජම්බු ගෙඩියක් වගෙයි."
ඇත්තමයි..ඔහු ඒ කියපු තාලෙට මට හිනාගියා.
"ඔය දැන් හිනාවෙනවා..!
මටයි දැන් පිස්සු හැදෙන්නේ..

හිරූ අනේ මං දැන් මොකද කරන්නේ...
ඇයි ඔයා අඬන්නේ...අඬන්න ඕනා මං නේද..."
ඔහු අත් දෙකින් ඔළුව බදා ගත්තා.
තවත් බලා ඉන්න මට බෑ.
මං ඔහුට ලන් වුනා.ලන් වෙලා ඒ අත් දෙක අයින් කලා.

"ඔයාට අලුතින් හැදෙන්න දෙයක් නෑ...
කොහොමත් පිස්සු තමයි.."

මං කිව්වා.ඔහු මගේ ඇස් දිහා බලාගෙන උන්නා.මං ඒ ලස්සන ඇස් වලට හිනාවුණා.
"මට මොකද කරන්න කියන්නේ..?"
"මට හා කියන්න...එච්චරමයි ඕනේ..ඉතුරුටික මම බලා ගන්නම්.."
මං ආයෙත් අනිත් පැත්ත හැරිලා ඉඳ ගත්තා.සීතල මුහුදු සුලඟක් හමාගෙන ආවා.
තවත් මෙහෙම ඉන්න බෑ..මේ තනි ජීවිතේ...
දැන් කොහොමටවත් මේ හිත මට අයිති නැති නිසා..

"හා:..." මම මිමුණුවා.

"මොකක්ද.." ඔහු උනන්දුවෙන් කෙලින් වුනා.මට දඟ හිතුණා.

"මාව අරන් යන්න.."

"yess..!." ඔහු වැල්ලට අතින් ගැහුවා.ඒත් එක්කම මාව ලඟට ඇදලා අරන් තුරුළු කර ගත්තා.
මේ නළල මත උණුසුම් හාදුවක් සිත්තමු වුණා.ඒත් එක්කම මගේ මූණ දිගේ සීතලක් ගලාගෙන ගියා...
සීතල කඳුළු කැටයක්...!




"අහස්..මහත්තයෝ..ඇයි මේ.."

"මේ සතුටු කඳුළු හිරූ...මට දරාගන්න බෑ..ඔයා ඔයා මේ දඩබ්බර ලස්සන පණ්ඩ්සිට කෙල්ල දැන් මගේ..." මාව වෙව්ලලා ගියා.මම ඒ අත තදකරලා අල්ලා ගත්තා.

"ඒ වගේම..මේ දඩබ්බර හිතුවක්කාර පිස්සු ලස්සන මහත්තයා...
මං හරි කැමති...මට වෙනස් කරලා හදලා ගන්න ඕනා වුණ මහත්තයාත් මං ලඟ..." මං මිමිණුවා.
"මං කොයිතරම් මඟ ඇරියත්...හැමදාමත් මං ආදරේ වුණේ ඔයාට විතරයි මහත්තයෝ.." මං ඇස් වලට එබුණා.
"දැන් මට මොකවත් කරගන්න බෑ.. මාව බලා ගන්න.."

"හා" හැමදාමත්..මගෙ මුළු ජීවිතේම..!"

අවුරුදු ගාණක යාළුකම...හිත අස්සේ හංඟන් උන්නු ආදරයක් එදා ඒ විදියට මූදු වෙරළේ සටහන් වුණා...!



නිල් නෙතු තෙමුණා..
මල් වැසි වැටුණා...
ඔය නෙතු අද්දර මල් හසරැල් රැඳි පින්බර හද මළුවේ..
මිණි පහන මමද සිතුණා...

දිගු දෑඟිලි මැද
මා අත පටලා..
පියමං කල ළබැඳේ..
මුළු සසර ඔබම වේවා...!









-නිමි-