Saturday, June 30, 2012

හිනැහෙන්නේ හිත හීනෙන්දෝ....! (2)

හිනැහෙන්නේ හිත හීනෙන්දෝ....!

දෙවන දිගහැරුම

කය නිසසල උවද සිත එසේ නම් නොවිණි.සාලය දෙසින් ඇසෙන කතා හඬ හා සිනා හඬ මෙතෙක් ඔහේ තිබූ මහිත සසල කලේය.මම පපුවට අත තබා ගතිමි.එය ගැහෙන හඬ අත්ලට දැනේ.මම නැගිට එහා මෙහා ඇවිද්දෙමි.මධූ කියූ ඒ අනාගතයට මා මුහුණ දිය යුතුය.මම හිත දැඩිකොට ගතිමි.අම්මාත් තාත්තාත් කාමරයට ඇතුලු වූහ.අම්මා අත වූ බීම බඳුන මට පෑවාය.

"දැන් ඕක බීලා ඉන්න"

"ඔයා හොඳට හිනා වෙලා ඉන්න පුතේ....,අපිට සැනසීම එතකොටයි..."

තාත්තා මහිස අත ගෑවේය.මම ඔහු දෙස බැලීමි.බලාපොරොත්තුව ඒ නෙතු තුල විය.

"තව ටිකකින් එලියට එන්න.මම මධූව එවන්නම්"

මම දෑඟිලි තදින් එක්කකාසු කොට එදෙස බලා හුන්නෙමි.මධූ කුටියට ආවාය.

"හරි එයාල තේ බීලා ඉවරයි.ඔයාව අහනවා.දැන් යමු...."ඕ මා නැගිටුවා ගත්තාය.

"boy හරී handsome " ඈ මගේ කනට මිමිණුවාය. "ය0 ය0....ක්‍රීම් පාට ෂර්ට් එක ඇඳපු කෙනා"
මම සෙමින් ඉදිරියට ගියෙමි.සිත ගැහේ.මම සාලය වෙත මධූ හා ගියෙමි.අම්මා මා අසලට ආවාය.

"ආ එන්න එන්න සුදු දූ...මේ තමා මනමාලී..." මාමා හඬ නගා සබයට මා හඳුන්වා දුන්නේය.

"යන්න දුව අර ක්‍රීම් පාට කමිසේ එයට කතා කරලා එන්න" අම්මා මා ඉදිරියට යැව්වාය.

මම යන්තම් හිස ඔසවා බැලීමි.සිත දඩස් ගා ගැස්සුනේය.අමාරුවෙන් පා ඔසවාගෙන ගිය මම ඒ සිනැහෙන නෙතු අයිතිකාරයාට දෑත් එක්කකාසු කර ආචාර කලෙමි.ඔහු පෙරළා ආචාර කරදිදී....ඔහුගේ සුසුමක් විත් මා හිසට වැදිනි.



මට කාමරයට දිව යන්නට වුවමනා විය.මම අම්මා ලඟට යන්නට හැරුනෙමි.

"කෝ දුව මෙහාට එන්න....පොඩ්ඩක්.." මට යන්නට ලැබුනේ නැත.සැටියේ හිඳ හුන් ඔසරි හැඳි කත මා වැලකුවාය.ඈ ලඟ හුන් කෙල්ලද මා හා මුව පුරා මල් හිනා පැවාය.
ඈද සුන්දරය.මම අම්මා දෙස බැලීමි.ඕ යන්නට යැයි හිසින් සන් කලාය.මම ඔවුන් දෙදෙනා අසලට ගොස් දෙදෙනා අතර මට වෙන්කර දුන් ඉඩෙහි ඉඳ ගතිමි.හිස ඔසවා බලන්නට නම් බැරිය.ක්‍රීම් කමිසකාරයා...හරියටම මගේ ඉදිරිපිටය.මට දැනුණි.ඔහු සෘජු නෙතු වලින් මා දෙසම බලා ඉඳී.


ඒ ඔහුගේ මවත් නැගණියත් වන්නට ඇත.

"දැන් දෝණි කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්.නම ඉස්කෝලෙ එහෙම..."

මට යළි වියපත් වුව ගීතවත් වූ ඒ හඬ ඇසිනි.මම හෙමිහිට ඔවුන් හා හිනැහුනෙමි.

"මම නර්මදා...
"නර්මදා පවිත්‍රානි විදානගමගේ..." මම මිමිණුවෙමි.

"එතකොට ඉස්කෝලේ මොකක්ද අක්කා..." පොඩි කෙල්ල දැනටමත් අක්කා පට්ටම මට පවරා දී සේය.
ඉඳින් මම මහත් අභිමනින් සැමදා සේම මා උගත් බාලිකා පාසලේ නම කීවෙමි.

"ආනේ ඇතත්ද...එහෙනම් අය්යට අල්ලපු වැටේ නේ ඉඳලා තියෙන්නේ...."

ඈට කියවුනේ එකපාරමය.සබයෙන් සිනා හඬක් ගලා ආවේය.මහිස එසවුනේ ඉබේමය.ඔහු විසල් නෙතින් මදෙස බලා උන්නේය.මම අසරණව මධූ දෙස බැලුවෙමි.

"ඔව්මනේ...අපේ සනාගෙ school එකත් ඒ ලඟමනේ..."

ඔහුගේ පියා අපේ පාසලට ආසන්නයේම වූ ප්‍රසිද්ධ බාලක පාසලේ නම කීවෙය.මම යළි තිගැස්සුනෙමි.පුදුමය.මධූ ඇසක් ගසා මට ඉඟි පෑවාය.

"එහෙම නම් ඉතින් අපි දැන් විස්තර කතා කලා ඇති..මේ ලමයි දෙන්නත් කතා බහ කරල දැන හඳුනා ගත්තාවෙ නේද..." මාමාගේ හඬ ඇසිනි.

"ඔව් ඔව් කමක් නෑ.ඒවත් කෙරෙන්න එපැයි." තාත්තාගේ අනුමැතිය ලැබිනි.

" මධූ දුවේ, මෙයාලව වත්තය එක්කන් යන්න..."

අම්මා කී පසු මම මධූ පසුපස යන්න නැගිට ගතිමි.මා ලඟින් ඒ ආගන්තුක පා හඬ ඇසේ.ඒ ඔහුය.

"හරි එහෙනම් ඔයලා කතා බහ කරන්නකෝ.මම එන්නම්..." මධූ අප තනිකර නිවස දෙසට දිව ගියාය.





මම අසරණ වී වටපිට බැලීමි.ඔහු මා අසලකවත් හුන්නේ නැත.ඒ වෙනුවට මගේ රෝසමල් පාත්තියේ රෝස මල් ගහක් අසලට වී එහි පිපි රෝසමලකට තට්ටු කරමින් හුන්නේය.මට පුදුම සිතුණි.මා ඔහුව හරියට දැක්කේ දැන්ය.උස, පැහැපත් එසේම මදක් ආඩම්බර ඒ රුව මින් පෙර කොහේ හෝ දැක ඇතැයි මට සිතුණි.ඒ සිතළුව ඔහේ පාව යද්දී ඔහු හදිස්සියේම මා වෙත හැරුණේය.මම හසුවුනෙමි.ඔහු මද සිනා පෑය.මම යන්තමින් සිනාසීමි.ලැජ්ජාවක් දැනේ.මා නිහඬව ඔහු දෙස බලා උන්නා නොවේද..?

"මේ මල් ඔයාගෙද න0ගි....?"

ඔහු මා ඇමතුවේය.අනේ ඒ න0ගී කියාය.මම දඩිබිඩි ගා වදන් එක්කාසු කළෙමි.

"ඔ..ඔව් ඕක හිටෙව්වේ ම0 තමා...."

"ලස්සනයි..මාත් හරි ආසයි රොසෙස් වලට." මල් කතාව දිගටම ඇදී යයි.ඒක හොඳය.වෙන මොනවා නම් කතා කරන්නද...?
ජීවිතය අලුතින් වෙනස් කරන්නට නොවී මල් වලටම ඉඩ දී බලා ඉන්නට ලැබුනා නම් සැපය.

"මම ඔයාට දෙයක් කියන්නද න0ගී...?" හදිස්සියේම ඔහු විමසීය.

මගේ දැහන යළි බිඳිනි.පෙර සේම ටිකක් තිගැස්සුණෙමි. පුදුම කරදරයකි.මෙහෙම තිගැස්සෙන්නට මට තවත් නම් බැරිය.

"ආ ඔව් අය්යේ කියන්න..."

"මේ ගහේ පිපෙන්න කිට්ටු වෙච්ච ලස්සන රෝස පොට්ටු දෙකක් තියෙනවා.පේනවද ඔයාට?"
මම හිස වැනුවෙමි.

"තව මොනවද පේන්නේ ඔයාට...?" ඔහු කියනවා කීවාට ඒ කතාවට මාද ඇදගන්නට තතනයි.
මම රෝස පඳුර පුරාම ඇස් දිවෙව්වෙමි.පරවී මැලවී ගිය රෝස මලක නටඹුන් මනෙතු මායිමට හසුවිනි.

"අර අර පරවුනු මලද...?" මට ඇසුනේ ඉබේමය.

ඔහු හිනැහුනේ නැත.ගැඹුරු බැල්මෙන් බලා උන්නේය.

"ඔව් ඔයා හරි..ඒත් ඔයා දැන් මේ මල් තුනම දිහා එකට බලන්න." ඒ ගමන තවත් කතාවකි.

මම නිහඬව ඒසේ කලෙමි.පිපෙන්නට එන රෝස පොට්ටු ගසට එක්කල චමත්කාරය අර පරවුනු මල නිසා වියැකී ගොස් තිබිණි.මම වදන් ඇහුළුවෙමි.

"ඒ පරවුනු මල නොතිබ්බා නම් ලස්සනයි නේද...?"

ඒ මුවඟට හීන් හිනාවක් නැඟිනි.

"very good න0ගි...ඔයා හුඟක් බුද්ධිමත්...!"

සත්තටම ඔබට කියන්නට...ඒ බොරු වර්ණනාවක් සේ මට දැනුණේම නැත.ඒ වදන් වල අපූරු අගය කිරීමක් විය.

"එහෙනම් අපි කරන්න ඕනා මොකද්ද....?"ඔහු ඇසීය.

"මේ පරවුනු මල අයින් කරලා දාන එක නේද...?" මම හිමිහිට මිමිණුවෙමි.

"එහෙනම් එන්න න0ගි...ඔයා ඒ මල පරිස්සමට අයින් කරන්න.මම ඔයාට උදව් කරන්නම්.ඔයාගෙ මේ ලස්සන රෝස පඳුර කැත වෙලා තියනවට මම නම් ආසා නෑ..."

ඔහු කියාගෙන ගියේය.අමුතු සිතුණි.තේරුම් ගියේ නැති වුවද..මම හෙමින් දෙපාවලට පණදී ඔහු අසලට පියනැගීමි.ඒ මල කඩන්නට දී ඔහු බලා උන්නේය.මම කීකරු දැරියක සේ ඒ පරවූ මල කඩා රෝස පඳුර පාමුල තැබීමි.

"දැන් ලස්සනයි..." ඔහු මිමිණුවේය.

"හ්ම්ම්...." මටද හූමිටි තැබුනේ ඉබේමය.

"මොනවද....?" ඔහු ප්‍රශ්න පත්‍රයකි.

"රෝස මල්..." මම ඒ දෙස බල උන්නෙමි.

"ඒ අර පු0චි පොට්ටු දෙක නිසා වෙන්න ඇති..."

තත්පර ගණනක් නිහඬතාවට ඉඩ දී අපි ගොළුව බලා උන්නෙමු.

"නර්මදා..,අපි එහෙනම් ඇතුලට යමු නේද...?" ඔහු ප්‍රථම වරට මා නමින් ඇමතීය.
දැහැනේ හුන් මා යළි පියවි ලොවට ආවෙමි.ඔහු හා එක මඟ වැටී සාලයට පිය නැගුවෙමි.

ඔවුන් පිටව ගිය පසු මධූ මාද ඇදගෙන කුටියට රි0ඟුවාය.

"කියපන් පියපන් මොනාද කිව්වේ...???" ඇගේ හඬ නොයිවසිලිමත්ය.මට සිනා ගියේය.

"රෝස මල් ගහ ගැන" ඈ ඇස් ලොකු කර ගත්තාය.මම එදෙස බලමින් තව තවත් සිනාසීමි.

ඒත් ඊ ලඟට ඒ ඇස් තෙත්විය.මම සිනාව නවතාලීමි.

"නවත්තන්න එපා නාමි....ගොඩකාලෙකට පස්සේ ඔය ලස්සන හිනාව දැක්කේ මම.."

මම හෙමිහිට ඈ වැලඳ ගතිමි.ඕ මා හිස අත ගෑවාය.මම සියල්ල ඈට පැවසීමි.
ඕ කල්පනාවට වැටුනාය.එහෙ මෙහෙ ඇවිද්දාය.

"එයාට හොඳ ලස්සන හිතක් තියෙනවා..කෙල්ලේ...ඒ වචන ටිකෙන්ම ඒක දැනෙනවා..."

මධූ කීවේ ඒ ටික පමණි.මම මුණිවත රැකීමි.

ඔහු හමුවේ දැනුණු ඒ හුරුපුරුදු බව මා ඈට කෙසේ වචන කරම්ද...?

මළිඳු යලි නුඹ මතකෙට ආවේය.මම නෙතු තෙමා ගතිමි.

අප හා දවස ගතකල මධූ පිටව ගියාය.අම්මා.තාත්තා...,මල්ලී තිදෙනාම මගෙන් අහු ගැන විමසූහ.
මම කියාගත නොහැකිව දැඟලීමි.

මොනවා කොහෙන් පටන් ගෙන කියන්නද නොතේරෙන අමුත් පැටලුමක මම සිර වී උනිමි.ඔවුහු මා පෙළීම අත්හැර දැමූහ.මට කල් ලැබිණි.


එනමුදු කෙසේ සඟවන්නද ඒ නෙතුවල තිබූ කැමති වන්නට කල ඉල්ලීම...
ඔවුහු හදවතින්ම ඔහුට කැමතිව උන්නාහ.

මම සුසුමක් හෙලුවෙමි.දෙතුන් දිනක් ගතවිය.වැඩ හැරී ගෙදර එනයන හැමවිටෙකමත්..මිඳුලට බසින හැමවිටෙකමත් අර රෝස පඳුර දෙස මට ඉබේටම බැලිණි.

හිතුවෙමි.නැත..,හිතුණේය.

ඔහු ඒ ව්‍ය0ගයෙන් කී කතාව මට දැනෙන්නට විණි.

ඒ කීවේ මා ගැනද...?මගේ ජීවිතය ගැනද...?

මම රෝස ගසා දෙස බලා සිතුවෙමි.

එහි වූ රෝස පොට්ටුව මම නම්...ඒ පරවූ මල මගේ වියැකී ගිය අතීතයයි.එසේ නම් ඒ අනික් රෝස පොට්ටුව ඔහුද....දැන් මල්ක් වී දිලෙමින් ඉන්නේ ඔහුද...?
ඒ හැමදේම ඔහු දන්නේ කෙසේද....?


මගේ සිත්විලි රැඳුනේ ගහ වටාමය.ගස පුරා නෙතු යවමින් මම ජීවිතය තීරණය කරන්නට යත්න දැරුවෙමි.හදිස්සියේම මධු මා සොයා ආවාය.

"නාමි,වරෙන් කෙල්ලේ ගමනක් යන්න..."

"කොහෙද..? ඇයි හදිස්සියක් ද...?"

"නෑ බ0...අපි beach පැත්තේ රවුමක් දාමු.ටික දුරයි නේ.උඹත් මේ උඩ බලාගෙන ඉන්න එකේ යමු.මටත් කම්මැලී නේ බ0.පැතුමුත් නෑ මේ ටිකේ....."

"හා යමු එහෙනම්"


මම ඈ හා මුහුදු වෙරළට යන්නට සැරසුනෙමි.කෙටි ඩෙනිම් සායට සුදු පාට ටී ෂර්ටයකින් සැරසුනෙමි.
මධූ හිනැහුනාය.

"උඹ අද නිකන් හරියට අවුරුදු 20 ක විතර කෙල්ලක් වගේ..."

අපි මීගමු මුහුදු වෙරළ දිගේ හෙමිහෙමින් ඇවිද ගියෙමු.එකිනෙක පසු පස හඹයන මුහුදු රළ දෙසත් පෙණකැටි විසිරෙන රැල්ල පාගන උන් දෙසත් මම මධූ හා බලා උන්නෙමි.

අතීතය සිහිවිනි.මා කෙතරම් දඟකාර කෙල්ලකව උන්නෙම්ද....?

මගේ නිදහස් නෙතු මායිමට හසු වූ රුව මහිත කළඹවාලීය.

"අනුහස්..." මට කියවිනි.

මධූ මා අත අල්ලා ගත්තාය.

"යන්න නර්මදා ගිහින් අහන්න. එයාට ලොකූ කතාවක් තියේ උඹට කියන්න.එතකොට රෝස ගහ දිහා බලාගෙන හූල්ලන්න වෙන එකක් නෑ උඹට.."

මම ඈ දෙස බල උන්නෙමි.ඕ මට යන්නට සන් කලාය.මම විසිරුණු සිත අහුලාගෙන දිරිගෙන ඔහු වෙත පියනැගීමි.

ඔහු මා එනතුරු නැවතී බලා උන්නේය.මම ඔහු සමීපයේ නතර වීමි.මේ වනතුරු ඒ නෙතු දිහා කෙලින් නොබැලූ මම....නෙත් ඔසවා ඒ නෙතු දෙස බැලීමි.මේ පැටළුනු සිත ලෙහා ගත යුතුය.ඒ නෙතු මඳක් සසල විය.එනමුදු සෘජු බැල්මෙන් මා දිහා බලා උන්නේය.




*****මතුසම්බන්දයි****






























4 comments:

  1. where is the rest?? put it soon gaya :)

    ReplyDelete
  2. happy to see you guys love this :DD a best feeln ever.
    yaa it will be come soon :) <3

    ReplyDelete
  3. කොටස් දෙකම කියෙව්වා.. හ්ම්ම්.. බලමු... අනුහස්ගේ යාළුවෙක්ද මන්දා මනමාලයා. හිතාගන්න නම් බෑ. ලස්සනයි නංගියෝ කතාව..

    ReplyDelete
  4. ගොඩාක් ලඟට ඇවිත් වගේ කතාවේ....වෙන්නත් පුළුවන් හී හී.....ඔන්න අන්තිම කොටසත් දැම්මා.....ගොඩාක් ස්තූත්යි අක්කියෝ....! :DDD <3

    ReplyDelete