Sunday, February 23, 2014

සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....! (ආදරය විඳින්නට මිස විඳවන්න නොවන නිසා.. ආදරය ජීවත් වන්නට මිස ගෙල වැලලා මියෙන්නට නොවන නිසා)

හුඟ කාලෙකින් මොකවත්ම ලියන්න බැරි වුණා..මතක් වෙන හැමවෙලාවම මුමුණ ගත්තත් ඇත්තටම ලියාගන්න බැරි වුණා හිතට දැනෙන දෙයක්.කාලය..කාර්යබහුලකම්... වයස මේ හැමදේම එක්ක කවිකාර  හිතත් දුරස් වෙලා යනවද...?? 
අනේ එහෙම වෙන්න දෙන්න බෑ....
"මොනා හරි ලියමු" ඔබත් කිව්වා.
"හා ලියමු.." එහෙම ලියන්න ගත්තා.
ඒත් ඔබ ගැනම තමයි.තුන් හිතේම තියෙන දේවල් ලියන එක මිහිරියි.තව එකක්..දැන් වෙන මාතෘකා හිතට එන්නෙ නෑ..(තත්වෙ නම් දරුණුයි තමයී) O.o
වාන් දොරටු බැඳන් උන්න හිත නිදහස් කරන් ඉඳින් පෙම්වතියක් වෙලා දැන් මාස 6ක් ම ගතවෙලා...ඒ උනාට මහා ලොකු කාලයක් ගිහිල්ල වගේ.
(ඇත්තම නම් මුලු කතාවට අවුරුදු 2යි මාස 1යී) :)

පෙම්වතියක් වෙන එක මොනවගේද...මතක් කර කර හිනාවෙන්න වගේම අඬන්නත් පුලුවන් චරිතයක් ඒක නම්. ;)
එහෙනම් මෙන්න ලියන්න ගන්නවා මම...

විටෙක ඔබ වෙනුවෙන්ම සිහින දකිමින් තනිව හිනැහෙන්නට ගනිමි.විටෙක ඔබ නිසාම කෝප ගනිමි.තවත් විටෙක හඬමි.මොහොතකින් එකම එක වදනකින් ඔබේ නැලවෙමි නිවෙමි.
නව වසරක් උදා වී ඇත.නැවුම් වසන්තය තාරුණ්‍යයේ සරසවි සමයද නිමා වෙමින් තිබේ.ජීවන කම්කටොලු කෙමෙන් කෙමෙන් ජය ගනිමින් හිඳිමු.ඔබ වටා මම ජීවිතය ගොඩ නගමින් හිඳිමි.
ප්‍රේමය...සිහින කුමරා ගැන කෙල්ලන් නේක කතා සිත්වල මවා ගනිති.මා තුලද එවැන්නක් විය.සරල වදනින් 

උස මහත...පෞරුෂයක් තියන කොල්ලෙක්.හරී හොඳයි.හැබැයි ටිකක් ආඩම්බරයි..තව කෙනෙක් වෙනුවෙන් පණ වුණත් දෙයි.හැබැයි ලන් වෙන්න දිනා ගන්න නම් ටිකක් අමාරු වෙයි.

මුවට සිනා නැගේ.මේ දැක ඔබද හිනැහෙනු ඇත.මම දනිමි.මන්ද මේ ඔබම වන බැවිනි.
මා සිත තුල වූ සිහින රූපකාය සිහින කුමරා සැබවින්ම ඔබ රූ ගුණමය.
දඩබ්බර කෙල්ලක වෙමි.මහා හුඟක් දඟ නොවෙමි.එනමුදු හිතුවක්කාරකම්  නම් මහ හුඟක් තියේ.
හිත රිදේ.කඳුළු එයි.නමුදු නොපෙන්වමි.මහ හුඟක් දැනේ.නමුදු විඳ දරා ගන්නට තතනමි.
අම්මා තාත්තා අබියස වුව වදනින් පහසුවෙන් පැරදුම නොගන්නී ඔබ අබිමුව බොහෝ විට නිහඬ වන්නී.සත්තටම අවනතය මා.
බැණුම් සීයයක් නොසලකන්නී ඔබේ එක රළු වදනට වවා ගත නොහැකි සේ කඳුළු සලා ගනී.
ඔය ලොකු බාහුවේ එල්ලී උරතලයට වාරු වී දොඩමළු වන්නට ආසා කරමි.මට වඩා හුඟක් උස ඔය මුහුණ දෙස උස බලන් කියවන්නට ආසා කරමි.
ඉඳින් වෙනයමක් නැති තරම්ය.
ආදරණීය හිතුවක්කාරයාණෙනි...මුළු හදවතින්ම ..මුලු ජීවිතයෙන්ම...නුඹට ආදරය කරමි.
නුඹේ පතිනිය වන්නට 
නුඹේ දරුවන්ට කුස සුව යහන් තනන්නට සිහින දකිමි.
වඳින්නට පන්සල් යන්නන් වීමු.පන්සල දැක වඳින්නට නොගියෙමු.ආදරය වෙනුවෙන්ම ජීවත් වෙන්නටම ආදරය කරනට ගතිමු.ජීවත් වන්නට ආදරය තෝරා නොගත්තෙමු.
ඒ ඔබම බව අදහමි.මතු මතුත් ඔබම පතමි.


ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු සහරැල් විලේ..
හද දියඹ ගලායයි දළු ලමින් සැලි සැලී...
එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි...
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...!


-කවිකාරි-

3 comments:

  1. මගේ ආදරය ඔබ කොහොම අකුරු කළාද මන්දා........

    කුරුටු ගෑ ගී පවුරෙ කාංචනා......

    ReplyDelete
  2. කොහි කොහොම ලියවුනත්...
    එකම එක භාෂාවයි...
    ඒ නම් ආදරේ...! :)

    ReplyDelete
  3. කිරිඳිවැල කෙල්ල‍ට කිරිඳිවැල එකෙකුගෙන් සුබ පැතුම්.

    ReplyDelete