"අන්තිමට පාරට එකම එක පාරක්....
මා එක්ක යන්ද මේ ශෝ එක අහන්න.අර අපි ඉස්සර කැම්පස් කාලේ ගියා වගේ.
එදාට විතරක් අතේ එල්ලීලා ඒක අහලා එන්නම්.ආයේ මොකුත් ඉල්ලන්නෑ"
මා විසින්ම ටිකට් ගෙන හැන්දෑවක එලිමහන් සංගීත සැඳෑවට යාමට කල ඇවටිල්ල...
ඒ මා අවසන් වරට ආදරය වෙනුවෙන් කල යැදුම වන්නට ඇත.
මතකයේ හැටියට මීට දෙවසරකට පෙර ලය රිදුම් දුන් මතකයක්...මා කල ඉල්ලීමක් මගේ මතකයට නැගිනි.
මතක සැමරුම් පිරුණු දුරකථනයේ මතක ගබඩාව පිරී ඉතිරී ගොස් බැවින් එය හිස් කරමින් යන මොහොතක අතීතය සිහිපත් විය.
මේ මේ නිසා වන්නට ඇතැයි මා විසින්ම සාධාරණීකරණය කරගත් හේතුන් මිස සිව් වසක ප්රේමය, ඒ වනවිට සත්වසක යුග දිවිය එසේ දෙදරුම් කන්නට හේතුව මේ වනතුරු නිශ්චිතව නොදන්නීමි.
විවාහය අවසන් වූයේ නැත.
අවසන් වූයේ ප්රේමයයි.බැඳීම් ය.
උණුවීම් ය. සෙවීම් ය.
එය හුදෙක්ම කොලයක්,අත්සනක්,වදනක් නොව ක්රියාවක් ය. දැනීමක් ය.කණ්ඩායම් ගමනක් ය.එක්ව මිස තනිව දිනිය නොහෙනා ඒ ගමනේ හොඳම හරියේදී ඔහු මා අතරමං කොට දැමූ බව පමණක් දැන උන්නෙමි.
හොයා ගන්නට ගැහැණියක හෝ පිරිමියෙකු කතාවේ අතරට පැමිණ තිබුනේද නැත.ආතතීය වෙහෙස යැයි සිතා ඊට උදව් වන්නට ගත් සියලු තැත්ද ව්යර්ථ විය.
වදයක් නොවී යන ලෙස අවසන ඒ මුවින් පිටවිනි.
ඊටම අනුබල දෙන නිවසක් පවුලක් ඔහුට විය.
බොහෝ දිගු කතාවකි.
ගෙනා බොහෝ දේ හැර ඇඳුම් කැඩුම් ටිකක් හා දරු දෙන්නා ලෙහි හොවාගෙන ආත්ම අභිමානය රැගෙන යලි උපන් ගමටම ආමී.
මගේ හා දරුවන්ගේ දිවි වටිනා මගේ පවුල මට ජීවන ගමන යන්නට දෑ සකසා දුන්නෝය.දෙගුරුන් දුන් අධ්යාපනයෙන් ලද උසස් රැකියාවෙන් හිස කෙලින් තබා ඔවුන්ට බෝ බර නොදී දිවි ගෙනියන්නට මට සවි විය.
ඉන්පසු ඔහු යලි ආවේය.ප්රශ්න මා හිසමත බැවින් ඔහු සන්සුන්ව ඇති සෙයකි.ඒ ඇස්වල පසුතැවීමක් මට පෙනුනේ නැත.
ඔහුට එසේ යන්නට එන්නට දී අප සියල්ලෝම කිසිත් නොවුනා සේ බලා උන්නෙමු.
දරුවන්ට පියා ඉන්නවා යැයි දැනෙන්නට.නෑ අසල්වාසීන්ට ඔහු ඉන්නවායැයි පෙනෙන්නට එය ප්රමාණවත් විය.
ආදරයක් නොවිනි.ස්පර්ශයක් හෝ නොවිනි.
ආ විට හොඳින් සංග්රහ කොට දරුවන් හා සෙල්ලම් කරන්නට දී යන විට හා ගොසින් එන්නැයි කීමි.
එවන් බිරියක් කොහේ හෝ හමුවීද , මා මතක් කල බවද දකින්නට ආසා වූ බවද කියන්න.
ආදරයේ හිස්තැන් තිබූවිට ඒ අස්සට යක්කු රිංඟන බව සිනමාපටයකින් දුටිමි.
දෙවියන් පැමිණෙන්නට නොහැකිද...
මා දෙවඟනක් කොට දෙවියෝ ඒ ඉසව්වට මා එව්වා වන්නට නොහැකිද....
එය එසේ විය....
මතු සබැඳි...!
