Sunday, October 11, 2026

සමුගන්න මොහොතකට පෙර එක වතාවක්.....

 "අන්තිමට පාරට එකම එක පාරක්....

මා එක්ක යන්ද මේ ශෝ එක අහන්න.අර අපි ඉස්සර කැම්පස් කාලේ ගියා වගේ.

එදාට විතරක් අතේ එල්ලීලා ඒක අහලා එන්නම්.ආයේ මොකුත් ඉල්ලන්නෑ"

මා විසින්ම ටිකට් ගෙන හැන්දෑවක එලිමහන් සංගීත සැඳෑවට යාමට කල ඇවටිල්ල...

ඒ මා අවසන් වරට ආදරය වෙනුවෙන් කල යැදුම වන්නට ඇත.

මතකයේ හැටියට මීට දෙවසරකට පෙර ලය රිදුම් දුන් මතකයක්...මා කල ඉල්ලීමක් මගේ මතකයට නැගිනි.

මතක සැමරුම් පිරුණු දුරකථනයේ මතක ගබඩාව පිරී ඉතිරී ගොස් බැවින් එය හිස් කරමින් යන මොහොතක අතීතය සිහිපත් විය.

මේ මේ නිසා වන්නට ඇතැයි මා විසින්ම සාධාරණීකරණය කරගත් හේතුන් මිස සිව් වසක ප්‍රේමය, ඒ වනවිට සත්වසක යුග දිවිය එසේ දෙදරුම් කන්නට හේතුව මේ වනතුරු නිශ්චිතව නොදන්නීමි.

විවාහය අවසන් වූයේ නැත.

අවසන් වූයේ ප්‍රේමයයි.බැඳීම්‍ ය.

උණුවීම්‍ ය. සෙවීම්‍ ය.

එය හුදෙක්ම කොලයක්,අත්සනක්,වදනක් නොව ක්‍රියාවක්‍ ය. දැනීමක්‍ ය.කණ්ඩායම් ගමනක්‍ ය.එක්ව මිස තනිව දිනිය නොහෙනා ඒ ගමනේ හොඳම හරියේදී ඔහු මා අතරමං කොට දැමූ බව පමණක් දැන උන්නෙමි.

හොයා ගන්නට ගැහැණියක හෝ පිරිමියෙකු කතාවේ අතරට පැමිණ තිබුනේද නැත.ආතතීය වෙහෙස යැයි සිතා ඊට උදව් වන්නට ගත් සියලු තැත්ද ව්‍යර්ථ විය.

වදයක් නොවී යන ලෙස අවසන ඒ මුවින් පිටවිනි.

ඊටම අනුබල දෙන නිවසක් පවුලක් ඔහුට විය.

බොහෝ දිගු කතාවකි.

ගෙනා බොහෝ දේ හැර ඇඳුම් කැඩුම් ටිකක් හා දරු දෙන්නා ලෙහි හොවාගෙන ආත්ම අභිමානය රැගෙන යලි උපන් ගමටම ආමී.

මගේ හා දරුවන්ගේ දිවි වටිනා මගේ පවුල මට ජීවන ගමන යන්නට දෑ සකසා දුන්නෝය.දෙගුරුන් දුන් අධ්‍යාපනයෙන් ලද උසස් රැකියාවෙන් හිස කෙලින් තබා ඔවුන්ට බෝ බර නොදී දිවි ගෙනියන්නට මට සවි විය.

ඉන්පසු ඔහු යලි ආවේය.ප්‍රශ්න මා හිසමත බැවින් ඔහු සන්සුන්ව ඇති සෙයකි.ඒ ඇස්වල පසුතැවීමක් මට පෙනුනේ නැත.

ඔහුට එසේ යන්නට එන්නට දී අප සියල්ලෝම කිසිත් නොවුනා සේ බලා උන්නෙමු.

දරුවන්ට පියා ඉන්නවා යැයි දැනෙන්නට.නෑ අසල්වාසීන්ට ඔහු ඉන්නවායැයි පෙනෙන්නට එය ප්‍රමාණවත් විය.

ආදරයක් නොවිනි.ස්පර්ශයක් හෝ නොවිනි.

ආ විට හොඳින් සංග්‍රහ කොට දරුවන් හා සෙල්ලම් කරන්නට දී යන විට හා ගොසින් එන්නැයි කීමි.

එවන් බිරියක් කොහේ හෝ හමුවීද , මා මතක් කල බවද දකින්නට ආසා වූ බවද කියන්න.

ආදරයේ හිස්තැන් තිබූවිට ඒ අස්සට යක්කු රිංඟන බව සිනමාපටයකින් දුටිමි.

දෙවියන් පැමිණෙන්නට නොහැකිද...

මා දෙවඟනක් කොට දෙවියෝ ඒ ඉසව්වට මා එව්වා වන්නට නොහැකිද....

එය එසේ විය....

මතු සබැඳි...! 


Sunday, March 22, 2015

වදන් ඔබ නොදෙඩූ...






වදන් ඔබ නොදෙඩූ...
වදන් ඔබ නොලියූ...
සිරගතව සිතේ...
දහස්වර ඔබද...
තවකෙකුද රිදවූ...
!


"You never know the hearts you silently break with the words you never say."
Bryant McGill-

Saturday, December 20, 2014

කාලයේ සීමාවෙන් බැඳී...!

කාලයේ සීමාවෙන් බැඳී...
ජීවිතේ ගලා යන ඉසව්වේ...
සොයමි...
අරුත්බර...
නැවතුමක්...
නිස්කාන්සුවක්...
හිනාවක්...
සෙනෙහසක්...

දෙන්නටත්...ගන්නටත් වෙලාවක්...!

Friday, September 12, 2014

සමාවනුමැන පන්හිඳ...!


අමතක කලා නොවේ...
කාලය....වෙනසකම් ජීවිතේ වෙන් කලා මදක් ඔබ මගෙන්..
අමතක කලා නොවේ...
කාලය....වෙනස්කම් ජීවිතේ වෙන්කලා මදක් ඔබ මගෙන්..
ජීවිතේ අමාරු කාලවල...
ජීවිතේ සොඳුරු තැන් හැඩ කලා ඔබ...
පන්හිඳ...
ඔබ තරම් දන්නේ කවුද මේ හිත...


සිපගන්නට ඔබ සෙනෙහසින් අවසරයි යළි...!


Sunday, February 23, 2014

සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ....! (ආදරය විඳින්නට මිස විඳවන්න නොවන නිසා.. ආදරය ජීවත් වන්නට මිස ගෙල වැලලා මියෙන්නට නොවන නිසා)

හුඟ කාලෙකින් මොකවත්ම ලියන්න බැරි වුණා..මතක් වෙන හැමවෙලාවම මුමුණ ගත්තත් ඇත්තටම ලියාගන්න බැරි වුණා හිතට දැනෙන දෙයක්.කාලය..කාර්යබහුලකම්... වයස මේ හැමදේම එක්ක කවිකාර  හිතත් දුරස් වෙලා යනවද...?? 
අනේ එහෙම වෙන්න දෙන්න බෑ....
"මොනා හරි ලියමු" ඔබත් කිව්වා.
"හා ලියමු.." එහෙම ලියන්න ගත්තා.
ඒත් ඔබ ගැනම තමයි.තුන් හිතේම තියෙන දේවල් ලියන එක මිහිරියි.තව එකක්..දැන් වෙන මාතෘකා හිතට එන්නෙ නෑ..(තත්වෙ නම් දරුණුයි තමයී) O.o
වාන් දොරටු බැඳන් උන්න හිත නිදහස් කරන් ඉඳින් පෙම්වතියක් වෙලා දැන් මාස 6ක් ම ගතවෙලා...ඒ උනාට මහා ලොකු කාලයක් ගිහිල්ල වගේ.
(ඇත්තම නම් මුලු කතාවට අවුරුදු 2යි මාස 1යී) :)

පෙම්වතියක් වෙන එක මොනවගේද...මතක් කර කර හිනාවෙන්න වගේම අඬන්නත් පුලුවන් චරිතයක් ඒක නම්. ;)
එහෙනම් මෙන්න ලියන්න ගන්නවා මම...

විටෙක ඔබ වෙනුවෙන්ම සිහින දකිමින් තනිව හිනැහෙන්නට ගනිමි.විටෙක ඔබ නිසාම කෝප ගනිමි.තවත් විටෙක හඬමි.මොහොතකින් එකම එක වදනකින් ඔබේ නැලවෙමි නිවෙමි.
නව වසරක් උදා වී ඇත.නැවුම් වසන්තය තාරුණ්‍යයේ සරසවි සමයද නිමා වෙමින් තිබේ.ජීවන කම්කටොලු කෙමෙන් කෙමෙන් ජය ගනිමින් හිඳිමු.ඔබ වටා මම ජීවිතය ගොඩ නගමින් හිඳිමි.
ප්‍රේමය...සිහින කුමරා ගැන කෙල්ලන් නේක කතා සිත්වල මවා ගනිති.මා තුලද එවැන්නක් විය.සරල වදනින් 

උස මහත...පෞරුෂයක් තියන කොල්ලෙක්.හරී හොඳයි.හැබැයි ටිකක් ආඩම්බරයි..තව කෙනෙක් වෙනුවෙන් පණ වුණත් දෙයි.හැබැයි ලන් වෙන්න දිනා ගන්න නම් ටිකක් අමාරු වෙයි.

මුවට සිනා නැගේ.මේ දැක ඔබද හිනැහෙනු ඇත.මම දනිමි.මන්ද මේ ඔබම වන බැවිනි.
මා සිත තුල වූ සිහින රූපකාය සිහින කුමරා සැබවින්ම ඔබ රූ ගුණමය.
දඩබ්බර කෙල්ලක වෙමි.මහා හුඟක් දඟ නොවෙමි.එනමුදු හිතුවක්කාරකම්  නම් මහ හුඟක් තියේ.
හිත රිදේ.කඳුළු එයි.නමුදු නොපෙන්වමි.මහ හුඟක් දැනේ.නමුදු විඳ දරා ගන්නට තතනමි.
අම්මා තාත්තා අබියස වුව වදනින් පහසුවෙන් පැරදුම නොගන්නී ඔබ අබිමුව බොහෝ විට නිහඬ වන්නී.සත්තටම අවනතය මා.
බැණුම් සීයයක් නොසලකන්නී ඔබේ එක රළු වදනට වවා ගත නොහැකි සේ කඳුළු සලා ගනී.
ඔය ලොකු බාහුවේ එල්ලී උරතලයට වාරු වී දොඩමළු වන්නට ආසා කරමි.මට වඩා හුඟක් උස ඔය මුහුණ දෙස උස බලන් කියවන්නට ආසා කරමි.
ඉඳින් වෙනයමක් නැති තරම්ය.
ආදරණීය හිතුවක්කාරයාණෙනි...මුළු හදවතින්ම ..මුලු ජීවිතයෙන්ම...නුඹට ආදරය කරමි.
නුඹේ පතිනිය වන්නට 
නුඹේ දරුවන්ට කුස සුව යහන් තනන්නට සිහින දකිමි.
වඳින්නට පන්සල් යන්නන් වීමු.පන්සල දැක වඳින්නට නොගියෙමු.ආදරය වෙනුවෙන්ම ජීවත් වෙන්නටම ආදරය කරනට ගතිමු.ජීවත් වන්නට ආදරය තෝරා නොගත්තෙමු.
ඒ ඔබම බව අදහමි.මතු මතුත් ඔබම පතමි.


ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු සහරැල් විලේ..
හද දියඹ ගලායයි දළු ලමින් සැලි සැලී...
එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි...
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...!


-කවිකාරි-

Thursday, September 12, 2013

වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී...!


කාලය වේගයෙන් ඉගිල ගියේය.වසරක් ගත විය.එනමුදු කල්පයක් සේ දැනිණි.වින්දේ දුකම පමණක් බවත්..හිත නම් හැදුනේ නැති වගත් අවසන පසක් කර ගතිමි.සත්තමය ඔබෙන් සිත මුදා ගන්නට නොහැකි විය.වසා ගත් නෙතු සේම අවදි නෙතුද දැක්කේද සෙව්වේද ඔබම විය.
ඉඳින් තීරණයක් ගතිමි.අවදානමක් ගන්නට දුබලව හුන් ගෑණු සිත හයිය ගත්තාය.ඔබ සොයා ගියෙමි.තනිව ඉන්නා ඔබ දකින දකින වාරයක් පාසා පිලිස්සෙන සිත විවර කර සියල්ල කියා දමන්නට ඔබ සොයා ගියෙමි.
ආදරණීය සරසවියේ බංකුවක් මත ඔබ එනතුරු බලා හුන්නෙමි.
යකඩ කම්හලක් සේ සිත ගැහුනේය.ලෝදිය හැලියක් සේ පිච්චෙම්න් හුන්නෙමි.ඔබ හෙමි හෙමින් පියමැන ආවේය.ඒ නෙතු කුහුලින් බරවී තිබිණි.
"ඉතින් නංගි...." 
මා කතා කරන්නට පටන් ගත යුතු විය.වචන නො'ඒ.හැඬුම්බර මුවට සිනාවක් නගා ගතිමි.
"ම්ම්ම් ඉන්නවා ඉතින්.මේ කියන්න දෙයක් තියෙනවා අයියට"
"මොකද්ද...?"
"අම්මලා ප්‍රපෝසල් හොයන්න වගේ යනවා.23ත් ලැබුවා නේ කියලා..."
"හ්ම්ම්ම්"
"මේ මට..මට අහන්න ඔනේ උනේ අයියගෙන් දැන් ඔයා මොනවද කරන්න ඉන්නේ කියලා.ඔයා හිතන්නේ මොනවද කියලා"
ඔහු නෙතු විසල් කොට අසා උන්නේය.
මම යාන්තමින් බැලුවෙමි
මද නිහඩතාවක් ගෙවිනි.
"ඔයා දන්නවනේ නංගි ඇයි මම මොකවත් නොකලේ කියලා.ඔයාගෙම හොඳටයි.ඔයාගෙ අම්ම තාත්තා එපා කියනකොට ඔයාට බල කරන්න මට බැරි නිසා"
ඔහු පැහැදිලි හඬින් කියා දැම්මේය.මට ඇඬෙන තරම් විනි.
"මම දන්නවා ඒක.එත් එත් දැන් එයාලව කැමති කර ගන්න පුලුවන් වෙයි මට.මම වෙන දෙයක් හිතන් නෑ කියලා එයාල දන්නවා"
ඔහු මා දෙසම බලා ඉඳි.මම බිම බලා ගතිමි.
"මෙහෙම දවසක් එයි කියලා මම හීනෙන් වත් හිතුවෙ නෑ"
මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.
"ඔයා එයි කියලා...මගේ හිතේ හැමදාම තිබුණා.ඒත් දරාගෙන හිටියා මම.ඔයා නිසා" ඔහු මිමිණුවේය.
නෙත් පුරා කඳුළු ඉහිරිණි.දුක සතුට එකවර දැනිණි.
ඉඳින් ඔහුගේ වීමි.ලස්සන උනෙමි.වැඩියෙන් සිනා වෙන්නට වීමි.ඔහු ඇස් සේ මා රකිමින් ඉඳී.සරසවි බිම මල් ඉහිරිනි.
ඉඳින් පුරා දෙවසරක නිමා නොවූ පෙම් කව අකුරු කර ගතිමි.දෙසිතක් එක සිතක් වී සුභ සිහින පුරමින් හිඳී.
සත්තයි...මා දුටු ඒ හීන මා අද්දර දිළිහෙන නෙත් වලින් රටා මවන්නේය.ඔබට මහා හුඟාක් ආදරය කරමි.කියන්නට වදන් නැත.විටෙම මවක සේ හැඟේ.විටෙක පොඩි එකෙකු සේ වෙමි.වටහා ගමි.බොරුවට අමනාප වෙමි.
අටුවාටීක ඕනා නැත.මුළු ජීවිතයෙන්ම ඔබේ ආදරය විඳිමින් සිටිමි.

සරසවි බිම මල් වැහි වැටුනා...
නිල් නෙතු තෙමුණා..
ඔය නෙතු අතර හිරවී...
ඔය අතැඟිලේ එල්ලී..
දුර හීන අහසේ පාවී යන්නම්ද මා...
බයක් නෑ මට...
මටත් වඩා..
මල් පෙත්තක් වගේ මාව පරිස්සම් කරන්න ඔබ ඉන්නවනේ දැන් මට







-කවිකාරි-

Saturday, August 10, 2013

සදා ඔබම දකින්නම්...!

අවසන දෙනෙත් විදහා...මෙතෙක් සඟවාලූ සියල්ල වදන් කර ගතිමි..
ඉඳින්...
ඔබ නෙතු දිලිහුනාවේ...ඒ ඇසිල්ලේ මා නිවෙන්නම්...
ඔබ සිත උදම් ඇනුවාවේ...ඒ ඉසව්වේ මා රැඳෙන්නම්...
ඔබේ සිත මගේ සිත උනාවේ...සිතින් සියවර කවි පද බඳින්නම්...
මගේම වූ මගේ අවිහිංසක සිහිනයේ සදා ඔබම දකින්නම්...!

කවිකාරි