Thursday, September 12, 2013

වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී...!


කාලය වේගයෙන් ඉගිල ගියේය.වසරක් ගත විය.එනමුදු කල්පයක් සේ දැනිණි.වින්දේ දුකම පමණක් බවත්..හිත නම් හැදුනේ නැති වගත් අවසන පසක් කර ගතිමි.සත්තමය ඔබෙන් සිත මුදා ගන්නට නොහැකි විය.වසා ගත් නෙතු සේම අවදි නෙතුද දැක්කේද සෙව්වේද ඔබම විය.
ඉඳින් තීරණයක් ගතිමි.අවදානමක් ගන්නට දුබලව හුන් ගෑණු සිත හයිය ගත්තාය.ඔබ සොයා ගියෙමි.තනිව ඉන්නා ඔබ දකින දකින වාරයක් පාසා පිලිස්සෙන සිත විවර කර සියල්ල කියා දමන්නට ඔබ සොයා ගියෙමි.
ආදරණීය සරසවියේ බංකුවක් මත ඔබ එනතුරු බලා හුන්නෙමි.
යකඩ කම්හලක් සේ සිත ගැහුනේය.ලෝදිය හැලියක් සේ පිච්චෙම්න් හුන්නෙමි.ඔබ හෙමි හෙමින් පියමැන ආවේය.ඒ නෙතු කුහුලින් බරවී තිබිණි.
"ඉතින් නංගි...." 
මා කතා කරන්නට පටන් ගත යුතු විය.වචන නො'ඒ.හැඬුම්බර මුවට සිනාවක් නගා ගතිමි.
"ම්ම්ම් ඉන්නවා ඉතින්.මේ කියන්න දෙයක් තියෙනවා අයියට"
"මොකද්ද...?"
"අම්මලා ප්‍රපෝසල් හොයන්න වගේ යනවා.23ත් ලැබුවා නේ කියලා..."
"හ්ම්ම්ම්"
"මේ මට..මට අහන්න ඔනේ උනේ අයියගෙන් දැන් ඔයා මොනවද කරන්න ඉන්නේ කියලා.ඔයා හිතන්නේ මොනවද කියලා"
ඔහු නෙතු විසල් කොට අසා උන්නේය.
මම යාන්තමින් බැලුවෙමි
මද නිහඩතාවක් ගෙවිනි.
"ඔයා දන්නවනේ නංගි ඇයි මම මොකවත් නොකලේ කියලා.ඔයාගෙම හොඳටයි.ඔයාගෙ අම්ම තාත්තා එපා කියනකොට ඔයාට බල කරන්න මට බැරි නිසා"
ඔහු පැහැදිලි හඬින් කියා දැම්මේය.මට ඇඬෙන තරම් විනි.
"මම දන්නවා ඒක.එත් එත් දැන් එයාලව කැමති කර ගන්න පුලුවන් වෙයි මට.මම වෙන දෙයක් හිතන් නෑ කියලා එයාල දන්නවා"
ඔහු මා දෙසම බලා ඉඳි.මම බිම බලා ගතිමි.
"මෙහෙම දවසක් එයි කියලා මම හීනෙන් වත් හිතුවෙ නෑ"
මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.
"ඔයා එයි කියලා...මගේ හිතේ හැමදාම තිබුණා.ඒත් දරාගෙන හිටියා මම.ඔයා නිසා" ඔහු මිමිණුවේය.
නෙත් පුරා කඳුළු ඉහිරිණි.දුක සතුට එකවර දැනිණි.
ඉඳින් ඔහුගේ වීමි.ලස්සන උනෙමි.වැඩියෙන් සිනා වෙන්නට වීමි.ඔහු ඇස් සේ මා රකිමින් ඉඳී.සරසවි බිම මල් ඉහිරිනි.
ඉඳින් පුරා දෙවසරක නිමා නොවූ පෙම් කව අකුරු කර ගතිමි.දෙසිතක් එක සිතක් වී සුභ සිහින පුරමින් හිඳී.
සත්තයි...මා දුටු ඒ හීන මා අද්දර දිළිහෙන නෙත් වලින් රටා මවන්නේය.ඔබට මහා හුඟාක් ආදරය කරමි.කියන්නට වදන් නැත.විටෙම මවක සේ හැඟේ.විටෙ පොඩි එකෙකු සේ වෙමි.වටහා ගමි.බොරුවට අමනාප වෙමි.
අටුවාටීක ඕනා නැත.මුළු ජීවිතයෙන්ම ඔබේ ආදරය විඳිමින් සිටිමි.

සරසවි බිම මල් වැහි වැටුනා...
නිල් නෙතු තෙමුණා..
ඔය නෙතු අතර හිරවී...
ඔය අතැඟිලේ එල්ලී..
දුර හීන අහසේ පාවී යන්නම්ද මා...
බයක් නෑ මට...
මටත් වඩා..
මල් පෙත්තක් වගේ මාව පරිස්සම් කරන්න ඔබ ඉන්නවනේ දැන් මට







-කවිකාරි-