කාලයකට පස්සේ පන්ති ඇරිලා එන ගමන් පුංචි මෝඩ වැඩකට ඉඩක් ලැබුණා.
බස් එකෙන් බහිනකොටම අහස කළු කරලා....පුංචි කුඩු පොදක්.වැඩි වෙලා යන්න හම්බවුනේ නෑ කුඩු පොද ලොකු ලොකු වැහි බිඳු වලට පෙරලුණා.කුඩෙත් අතේ තියන් බස්නැවතුම්පලට වෙලා ටික වෙලාවක් බලාගෙන ඉඳපු මට...මගේ හිතුවක්කාර හිත ඉන්න දුන්නෙම නෑ....
"ඔය ටික දුර ඉක්මනට යනවා..වැහි තද වෙන්න කළින්..."
අනිත් හැමෝම බස්නැවතුම්පලේ සෙවණ සොයද්දි මම පණ්ඩිතකමට කුඩේත් ඉහළන් එළියට බැස්සා.ඇත්තම කතාව නම් ඉක්මනට ගෙදර යනවාටත් වඩා වැස්සට තෙමෙන්න තිබ්බ ආසාව....
තවත් පිස්සුවක් ඇතෙයි....
මෙහෙම වැස්සට බහින්න හම්බවුනු හොඳම අවස්ථාව...
එක්කො වහිද්දි කැම්පස් එකේ..තෙමිලා පාරට බහින්න බෑනේ..
එක්කො ගෙදර....එතකොට තෙමෙන්න ගියා නම් තෙමිලා මදිවට තව ගුටි දෙකක් තුනක් කන්නත් තිබ්බා අම්මගෙන්...
හී හී අද තමා මගේ දවස.....
ඔන්න ඉතින් වැහි අස්සේ ගමන පටන් ගත්තා....
වැඩි දුර යන්න හම්බවුනේ නෑ.... වැහි බිඳු නපුරු වුනා ලොකු මොර ගෙඩි වගේ...සුලඟ එක්ක පොර බදාගෙන විත් මාව නාවාගෙන ගියා....
දැන් හරි...යා ගන්න බෑ තෙමිච්ච කිකිළි වගේ....
මට ඉස්සරහින් ගිය ආත්තම්මා කෙනෙක් වහලා තිබුනු කඩයක් අයිනට වුනා වැස්සට.මාත් එතනට දුවා ගත්තා.
"බලන්නකෝ දුවේ හරි වැස්ස නේ...."
"එකනේ ආච්චි...හොදටම තෙමුනත් එක්ක...."
කර ගන්න දෙයක් නැතිකමට ටිකක් වෙලා එතනට වෙලා හිටියා....වැහි බිඳු ආයේ ටික ටික අහිංසක වුනාම මම ආයෙත් පාරට බැස්සා.
ඔන්න මම ආදරේ වැස්ස....කුඩෙත් නැතුව තෙමෙන්න තිබ්බා නම්....
පාරේ ඉන්න මිනිස්සු මට පිස්සු කියලා හිතයි....
බෑ බෑ....ඔහොමම යනවා....ඉතින් ඔහොම පිස්සු හිත හිතාම දන්නෙම නැතුව මම ගෙදරටම ඇවිත්.....
"අම්මේ...මාව වැස්සට අහු වුනා...."
මොකුත් නොදන්න බබා වගේ ඔන්න ළමයා ගෙදර.....පිස්සු මෝඩ හිතැඟියාවක් යාන්තම් සැනසුණා.....හැබැයි ටිකක් අවුල්.....
"හාච්චීචීස්ස්ස්ස්ස්ස්.......!"
වැහි හිරිකෝඩ දම් අහස යටින් හෙමි හෙමින් විසිරිලා ඇවිත්..
එකපාරම මහ වැහි වෙලා කඩා හැලෙන...තෙත සීතල......කවියක්
හරියට නුඹ වගේ.....
මට ඕනේ වෙලාවට එන්නෙත් නැති.....
මට ඕනේ වෙලාවට යන්නෙත් නැති.....හිතුවක්කාර...සීතල....කවියක්
හරියට නුඹ වගේ....
දුවගෙන ගිහින් දෑත් විදහා තෙමෙන්න හිතෙන.....
හරිම සීතල සොඳුරු හැඟීමක්....ඒ වුනත්...
සීතල..තෙත...දඩබ්බරකම් දරා ගන්න බැරි මට ලියා ගන්න බැරි කවියක්
හරියට නුඹ වගේ....
දේදුන්නක් වෙලා වැස්සට පහු හිනාවෙන්න..මම බලාගෙන ඉන්නම්.....!